ගොඩක් ටෙලිඩ්‍රාමාවල ඉන්නේ රංගනය ගැන අවබෝධයක් තියෙන අය නෙවෙයි - වයෝමි ජයකොඩි

ගොඩක් ටෙලිඩ්‍රාමාවල ඉන්නේ රංගනය ගැන අවබෝධයක් තියෙන අය නෙවෙයි - වයෝමි ජයකොඩි





කලාව විනෝදාංශයක් කරගත් ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට බලාපොරොත්තුවන සුන්දර යුවතියක් තමයි කතාබහට එකතුවෙන්නේ. ඇය මේ දිනවල තිරගවන ටෙලිනාට්‍ය වගේම මියුසික් විඩියෝ කිහිපයකටත් දායක වනවා. ඇය නමින් වයෝමි ජයකොඩි. ඇගේ තොරතුරු ටිකක් දැනගන්න අපි ඇයත් සමග පුංචි පිළිසඳරක යෙදුනා.

මුලින්ම ඔයා ගැන පුංචි හැඳින්වීමක් කරන්නකො.
මම වයෝමි ජයකොඩි. මම පදිංචිවෙලා ඉන්නේ ගම්පහ. මගේ වයස අවුරුදු විසිහතරයි. මමයි මගේ අම්මයි තමයි මගේ පවුලේ ඉන්නේ. ඊට අමතරව ඉතින් මගේ ආදරණීය සුරතල්ලු ටික ඉන්නවා...(සිනහවෙමින්)

වයෝමි නිරූපිකාවක්ද? රංගන ශිල්පිණියක්ද?
මම මේ ක්ෂේත්‍ර දෙකටම සම්බන්ධ වැඩකටයුතු කරනවා. රංගන ශිල්පිණියක් කියනවට වඩා මම ඒවට දායක වෙනවා කීවොත් හරි. මොකද මම තාමත් මේ ක්ෂේත්‍ර දෙකටම ආධුනිකයි. මම ගොඩක්ම කැමති ‍Stage Drama වලට සම්බන්ධ වෙන්න.

මේ දවස්වල අලුත් වැඩකටයුතු කිහිපයකට සම්බන්ධ වුනා කියලත් ආරංචියක් ලැබුණා.
ඔව්. මියුසික් වීඩියෝ කිහිපයකටම මම නිරූපණයෙන් දායක වුණා. ඊට අමතරව අහස් මාලිගා ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වෙනවා. ඉදිරියේදී චිත්‍රපටයකටත් දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

වයෝමි රංගනය ගැන හැදෑරීමක් කරලා තියෙනවාද?
ඔව්. මම තාමත් හදාරනවා. කැලණිය විශ්ව විද්‍යාලයේ ඩ්‍රාමා පිළිබද ඩිග්‍රී එකක් කරනවා. තව Impas  එකේ  ඩ්‍රාමා වලින් ඩිප්ලෝමා එකක් කරනවා. ඊට අමතරව විවිධ වැඩමුළුවලටත් සම්බන්ධ වෙනවා.

ඒ කියන්නේ ඉදිරියේදී කලාව වෘත්තීයක් විදියට හදාරන්නද බලාපොරොත්තුව?
අනේ නෑ. පොඩිකාලේ ඉඳන්ම මම කලාවට ගොඩක් ආදරෙයි. විනෝදාංශයක් විදියට තමයි කලාවට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒත් ඉදිරියේදී ගුරුවරියක් විදියට සේවය කරන්න කැමැත්තෙන් ඉන්නවා.

නවකයෙක් විදියට ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහෝයෝගය මොනවගේද?
ලොකු සහයෝගයක් ලැබෙනවා. අපිට හැකියාව තියෙනවානම් ඉදිරියට යන්න පුළුවන්, නමුත් ඒ අයගේ උදව්ව, උපදෙස් අපට ගොඩක් වටිනවා. මම නම් ගොඩක් කැමති මගෙ අඩුපාඩු දැකලා ඒ අය මට ඒවා පෙන්වලා දෙනවාට.

හැකියාවන් නැති අයටත් ක්ෂේත්‍රය තුළ ඉන්නවාද?
ගොඩක් අය නළුවෙක් නිළියක් වෙන බලාපොරොත්තුවෙන් ක්ෂේත්‍රය ගැන කිසිම අවබෝධයක් නැතිව එනවා. ඒ වගේම ගොඩක් ටෙලිඩ්‍රාමාවල ඉන්නේ රංගනය ගැන අවබෝධයක් තියෙන අය නෙවෙයි. රංගනය කරද්දි ඒ චරිතය ඇතුලේ අපි ඇත්තටම ජීවත්වෙන්න ඕනේ. ඒ ගැන අපි හරිහැටි හැදෑරුවොත් අපිට නිර්මාණවලට නියම සාධාරණයක් කරන්න පුළුවන්.

පවුලේ එකම දරුවා කලාවට යොමුවෙනවාට පවුලේ අයගෙන් අකමැත්තක් ආවේ නැද්ද?
අම්මාගේ වැඩි කැමැත්තක් නැහැ. එයා කැමති මම ගුරුවරියක් වෙනවාට. මම එයාගේ ආසාව ඉෂ්ට කරනවා. අම්මාට දුකක් නොදී එයාගෙ ආශාවන් ඉෂ්ට කරන එක තමයි මගේ බලාපොරොත්තුව.

අවසාන වශයෙන් වයෝමිට මොනවද කියන්න තියෙන්නේ?
මම අද මෙතන ඉන්නේ මගේ 
අම්මා නිසා, ඇයට ගොඩක් ස්තූතියි. ඒ වගේම මගේ හොඳම යාළුවා ශමල්කා එයා හැමදාම, හැමදේටම මගේ ළඟින්ම ඉන්නවා. ඇයටත් ගොඩක් ස්තූතියි.

සටහන - දිනිත් කණිෂ්ක







Share on Google Plus

1 comments: